පූසෝ පිස්සුවෙන් වගේ කන, අපි උදුලුගාල දාන, මේ ශාකයේ ගුණ කන්දරාව
වසර පුරා ම පිපෙන කොළ පැහැති මලින්ද, සිහින් බූව හා දිග නටු සහිත පත්‍රවලින් ද සමන්විත කුප්පමේනිය , මීටර් එකහමාරක දෙකක උසට වැවෙන වටිනා ඖෂධීය ශාකයක්. තිත්ත කටුක රස සහිතයි. Euphorbiaceae කුලයට අයත්.
බළලුන් ආකර්ෂණය කරන රසායන දෙකකින් සන්නද්ධව, මීටර් 50 ක පමණ දුරකට මුලේ සුවඳ විහිදුවා උන් ඇදගන්නා බැවින්, එය මාර්ජාර මෝහිනී නමින් සංස්කෘත වෛද්‍ය ග්රන්ථ හඳුන්වනවා. සිංහලෙන් 'කමනිය ' ලෙස හඳුන්වනවා .
ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය මැලේසියා ව හා අප්‍රිකානු රටවල වැවෙන අතර, ඒවායේ indian nettle, indian copper leaf, three seeded mercury, catnip වැනි විවිධ නම්වලින් හඳුන්වනු ලබනවා .
ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරි කුප්පමේනිය, වා සෙම් රෝග සමනය කරන්නක් සේ සැළකෙන්නක්.
විවිධ රෝග සඳහා ඖෂධ ලෙස යොදාගන්නා අතර ඒ සඳහා කොළ, මුල් , මෙන් ම සම්පූර්ණ ශාකය ද යොදා ගන්නවා.
එය විෂ නාශකයක් නිද්‍රාකාරකයක්, මුත්‍රාකාරකයක් මෙන්ම, වමනකාරකයක්, ලෙසද ක්‍රියාත්මකවනවා. එසේ ම දාහය නිවන ගුණත්, විරේක ගුණ ත් එහි පවතිනවා.
මල බද්ධය, චර්මරෝග, ස්නායු රෝග, උණ, දත් කැක්කුම, කන් කැක්කුම, ඉරුවා රදය, කැස්ස, ඇදුම, ළදරු සෙම් රෝග, ශ්වාස නාලිකා ප්‍රදාහය, සන්ධි ඉදිමුම්, සෙම් ගෙඩි, පනු රෝග, මුත්‍රා පද්ධති රෝග , ශරීර දාහය, නින්ද නොයාම, ආදි රෝග, සුවයට කුප්පමේනිය දායකත්වය ලබා දෙන බව සඳහන්.
එය හදවත ආරක්ෂා කිරීම, රුධිරගත සීනි පාලනය , එක්සිමා වැනි චර්ම රෝග,සෙංගමාලය , අක්ෂි ආබාධ, හා හුස්ම ගැන්මේ අපහසුතා සුවකිරීම සඳහා ද යොදාගනු ලබනවා.
*ශ්වාස නාල ප්‍රදාහය සඳහා කුප්පමේනිය ,කොළ හා මුල් කෂාය කර දෙනවා.
*විරේකයට, මුල ඇල්දියෙන් තලා බීමට දෙනවා.
*මුත්‍රා අඩස්සියට කොළ අඹරා යටිබඩෙහි ආලේප කරනවා.
*ඇදුම රෝගයේ දී කුප්පමේනිය දලු රතුලූනු සමග උයා කෑමට දෙනවා.
*දියවැඩියාව සඳහා කොළ මැල්ලුම සකසා දෙනු ලබනවා.
*සර්පයන් දෂ්ට කළ විට කොළ කැඳ සකසා දෙනවා.
කුප්පමේනිය, ආඩතෝඩ, මිංචි කොළ හා කොත්තමල්ලි සමව ගෙන ,බැද කුඩුකර, කෝපි මෙන් සකසා බීම සෙම් රෝගවලට ගුණදායක බව සඳහන් .
.ළදරු වලිප්පුව සඳහා කොළ මිශ්‍ර ඔසුවක් සකසා දෙනු ලබනවා.
ස්වාස රෝගය සඳහා කුප්පමේනිය කොළ සුදුලූනු, පොල් එක පමණ ගෙන කොටා, උණු දියෙන් මිරිකා පත බාගයක් උදේ බීම සුදුසු බව සඳහන් වෙනවා.
අළුහම් සුවයට කුප්පමේනිය කොළ, බැබිල කොළ, වැටකෙය්යා මල් පොහොට්ටු සමව ගෙන වෙඩිලුණු හා එළඟිතෙල් සමග අඹරා, ආලේප කර පැයක් මඳ පවනේ සිට, මඳ උණුසුම් ජලයෙන් සෝදා හැරීම සුදුසු යි.
කුප්පමේනිය යුෂ අවුන්ස දෙකක් බිවද වමනය ඇතිවිය හැකි බව සඳහන්. එහි විරේක ගුණද පවතින බැවින් සාමාන්‍ය ආහාර සඳහා කොළ යොදා කැඳ මැල්ලුම් ආදිය සැකසීමේදි වෙනත් කොළ වර්ග සමග අඩුමාවකින් මිශ්රකරගැන්ම වඩා හිතකරයි.
කුප්පමේනියවලින් අත් බෙහෙත්
*තුවාල වලට
කුප්පමේනිය මුල් ඇල් දියෙන් අඹරා තුවාලයෙහි එළා වරින්වර තෙමීම
මුල් දෙහි ඇඹුලෙන් ගලගා තුවාලයේ එළීම.
*තද හිසේ කැක්කුමට.
කොළ යුෂ රෙදි කඩක පොඟවා නළලේ එළීම.
*හිසෙහි සෙම පිරී වේදනා දෙන විට.
ශාකය තැම්බූ වාෂ්ප හිසට නලළට ඇල්ලීම.
*සන්ධි ඉදිමුමට.
කොළ යුෂ දෙහි යුෂ තලතෙල් හා ලුණු මිශ්‍රකර ඉදිමුණු පෙදෙසෙහි ආලේප කිරීම .
*මුත්‍රා දැවිල්ලට
කොළ අඹරා තුනී රෙදි කැබැල්ලක ගා යටි බඩෙහි එළීම.
උපුටාගැනීම අන්තර්ජාලයෙන්
You will be redirected in:
60

Comments
Post a Comment