නිල් වෙරළු භාවිත කර රෝග රාශියක් සුව කර ගන්නෙ මෙහෙමයි
වෙරළු කියන්නේ ශ්‍රී ලංකාවේ අපට ආවේණික හුරුපුරුදු පලතුරක්. බොහෝ පලතුරු වර්ග අතරින් ලොකු කුඩා සැමට වෙරළු මූලිකම පලතුරක්. ගම්වල ගෙවතුවල පලතුරක් ලෙස මෙම ශාකය වැවෙනවා. ලංකාවේ උෂ්ණ පළාත්වල හොඳින් වැඩෙන මෙම පලතුර සමස්තයක් ලෙස ලංකාව පුරාම වැවෙනවා. අපේ සාහිත්‍ය කලාවේත් වෙරළුවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. ‘’අතට වෙරළු ඇහිද ගෙනේ’’ කියලා දරු නැලවිලිවලටත් මෙම ශාකය මාතෘකා වෙලා තිබෙන්නේ ඒ නිසයි.
මීටර් 15ක් පමණ උසට මධ්‍යම ප්‍රමාණය දක්වා උස යන ශාකයක් වන වෙරළුවල සුදු පාට කුඩා මල් පිපෙනවා. එයටම ආවේණික සුගන්ධයක් තිබෙන වෙරළු මල්වල පරාගණයට කෘමි ආකර්ෂණය ඉතාම වැඩියි. පරාගණය නිසාම ශාකය පුරාම වෙරළු ගෙඩි හටගන්නවා. Flaeocarpiacea කුලයට අයත් වන වෙරළු Flacecarpus Serratus නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. අමු වෙරළු තද කොළ පැහැයෙන් සමන්විතයි. ඉදුණු වෙරළු ළා කහ පැහැයක් ගන්නවා. වෙරළු ගෙඩිය මැද්දේ රළු ස්වභාවයෙන් යුක්ත ඇටයක් තිබෙනවා. වසරක් ගතවූ පසුව වුණත් මේ ඇට පැළවෙන්නටපුළුවන්.
අපි එදිනෙදා භාවිත කරන පලතුරක් වුණත් මේ පලතුරේ තිබෙන ඔසු ගුණය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ගොඩක් අයගේ විශ්වාසයක් තමයි පිටරටින් ගෙන්වන පලතුරු ගුණයි කියන එක. නමුත් අපට ආවේණික වෙරළු පලතුර මඟින් කෙතරම් විශේෂ ගුණයක් ලැබෙනවාද කියල මේ ලිපිය බලන ඔබට වැටහේවි. ලංකාව වගේම දකුණු ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල වැවෙන වෙරළු කුඩා ප්‍රමාණයක් වුණත් විටමින් සී බහුල පලතුරක්. විටමින් සී කියන්නෙ ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. ඒ නිසා ප්‍රතිඔක්සිකාරකය යමකුට අවශ්‍ය නම් කළ සෙම්ප්‍රතිශ්‍යාව, උණ වගේ රෝග තත්ත්ව වළක්වන්නත් මෙම පලතුර ගුණදායකයි.
මෙහි ඛනිජ ප්‍රමාණය සහ තන්තු (කෙඳි) ප්‍රමාණය වැඩියි. ගර්භණී සමයේ කාන්තාවන්ට වමනය එන අවස්ථාවල එය වළක්වන්න කදිම පලතුරක් වෙරළු. කෑම අප්පිරියාව අඩු කරන ඔසුවක් බවට ග්‍රාමීය ජනයා අතරත් ප්‍රචලිතයි. ඒ වගේම ආයුර්වේදයේ හිසට නිෂ්පාදනය කරන ෂැම්පු වර්ග, ආලේපන වර්ගවලටත් වෙරළු කොළ අන්තර්ගත කරනවා. අපිට පුළුවන් තදින්ම හිස්හොරි තිබෙන අයට වෙරළු කොළ කොටා හිසේ ආලේප කරන්න. නැතිනම් කොළ තම්බා හිසේ ගාන්න. මේ හිස්හොරිවලට කරන සත්කාරය නිසා හිස් කබලේ තිබෙන වියළි බවත් අඩු කරනවා. ඒ වගේම මෘදු දීප්තිමත් හිසකේ කලඹක් ලබන්නත් මෙය කදිමයි.
විශේෂයෙන්ම දිනකට වෙරළු ගෙඩි 5ක් පමණ ගත්තොත් රුධිරයේ තිබෙන අහිතකර කොලෙස්ට්‍රෝල් ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම විටමින් සී. තිබෙන නිසා විදුරුමසින් ලේ ගැලීම, කට තුවාල වීම, දත්වල ප්‍රශ්න වගේ මුඛය ආශ්රිත රෝගවලින් මිදෙන්නත් වෙරළු කදිමයි. විටමින් සී ප්‍රතිඔක්සිකාරකය බහුල නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ස්ථාවරභාවයටත් මෙය ඉවහල් වෙනවා. අපිට පුළුවන් තුවාල, ලේ ගැලීම් වූ විට වෙරළු කොළ, පොතු දෙකම තම්බා සෝදන්න. එයින් ලේ ගැලීම අඩු වෙනවා වගේම තුවාල ඉක්මනින් සුව වෙනවා. මේක කෙඳි (තන්තු) සහිත පලතුරක් නිසා ආහාර දිරවීමත් හොඳින් කරනවා. බඩවැල්වලට ඉතාම හොඳයි. විවිධාකාර පර්යේෂණ දත්ත තිබෙනවා. වෙරළු පලතුර ආහාරයට අවසාධන වගේ තත්ත්ව නැති කරන බවට.
වෙරළු ගැන කතා කිරීමේදී වෙරළු වර්ග කිහිපයක් තිබෙනවා. ගල් වෙරළු, නිල් වෙරළු, තිත්ත වෙරළු සහ පොල් වෙරළු. පොල් වෙරළු තරමක් විශාලයි. සෙන්ටිමීටර් තුනහමාරක් විතර විශාල සමහර පොල් වෙරළු තිබෙනවා. මේ අතරින් මට කතා කරන්න වැදගත් වන්නේ නිල් වෙරළු ගැන. ඉන්දියාවේ ඇසෑම්, බංග්ලාදේශය වගේ රටවල නිල් වෙරළු තිබෙනවා. ලංකාවෙත් නිල් වෙරළු හටගන්නවා. ගෙඩිය නිල් පාටයි. රවුම් හැඩයෙන් යුක්තයි. අගෝස්තු වගේ මාසවල නිල් වෙරළු දැකගන්න පුළුවන්. පේරාදෙණිය උද්භිද උද්‍යානයේත් නිල් වෙරළු ගහක් තිබෙනවා.
නිල් වෙරළුවල ශරීරයට හිතකර ශාක රසායන බහුලයි. විශේෂයෙන්ම නිල් වෙරළුවල තිබෙනවා ටර්පිනොයිඩ් ශාක රසායනය. ඒ නිසාම නිල් වෙරළුවල පිළිකා ඇති වීම වැළැක්වීමේ ගුණයක් තිබෙනවා. ඒ වගේම නිල් වෙරළු හෘදය සඳහාත් ඉතා හිතකරයි. හෘදය වස්තුවේ මාංසපේශිවල ක්‍රියාකාරිත්වය ඉතා මැනවින් ක්‍රියාකරගන්න පුළුවන්. නිල් වෙරළුවල කැල්සියම් ප්‍රමාණයත් ඉතා වැඩියි. මේ නිසා වයසට යද්දී ඇතිවන අස්ථි දුර්වලවීම්, දන්ත විකෘතිතා නැති කරවන්න ඉතා හොඳ ඔසුවක්. නිල් වෙරළුවලත් විටමින් සී වැඩියි. කොළ පාට වෙරළුයි, නිල් වෙරළුයි අතර නිල් වෙරළුවල තමයි ගුණය වැඩි. ඒ වගේම වයස්ගත වීමේදී වන ඇස්වල දුර්වලතා, ඇස් සුදවීම් වළක්වනවා.
විටමින් බී ඉතාම බහුල පලතුරක් නිසා මානසික ආතතිය, මානසික අවසාධය නැති කරන්නත් මෙමඟින් පුළුවන්. ඒ නිසා ඔබට හැකි සෑම විටම නිල් වෙරළුත් පලතුරක් ලෙස භාවිත කරන්න. වෙරළු ගැන කතා කරද්දී බොහෝ දෙනා වෙරළු අච්චාරුවලට කැමැතියි. එය සාදන්නෙ මෙහෙමයි. වෙරළු හොඳින් සෝදා ලුණු වතුර මිශ්‍ර කර තම්බා ගන්න. ඊට පස්සේ මිරිස්, ස්වල්පයක්, සීනි ස්වල්පයක්, විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කර නැවත විනාඩි දෙකක් විතර ළිපේ රත්කර ගන්න. මෙයින් අපට රසවත් වෙරළු අච්චාරුවක් සාදා ගන්න පුළුවන්.
ඇත්තටම මේ ගෙවෙන්නෙ ශරීරයේ ඉතා උණුසුම් කාලයක්. දාහය නිවන්න ශීත කළ වෙරළු පානයක් ඔබටත් සාදාගන්න පුළුවන්. වෙරළු ඇට ඉවත්කර මද අරගෙන සීනි, ලුණු අවශ්‍ය නම් ගම්මිරිස් ස්වල්පයක් මිශ්‍රකර ප්‍රමාණවත්ව වතුර මිශ්‍ර කර බ්ලෙන්ඩර් කර ගන්න. ඉංග්‍රීසි භාෂාවට අනුව සිලෝන් ඔලිව් නමින් හඳුන්වන වෙරළුවලින් සාදන්න පුළුවන්. මේ රසවත් පානයත් ශීතකරණයේ තබා සිසිල්කර ඔබත් බීල බලන්න.
උපුටාගැනීම මව්බිම

Comments
Post a Comment