සම පැහැපත් කරවන ඇඟ සිසිල් කරවන වයසට යෑම පමා කරන රෝස මල් පෙතිවලින් අපූරු ප්‍රතිකාරයක්
“ක්වීන් ඔෆ් ද ෆ්ලවර්ස්’’ එහෙම නැති නම් මල්වල රැජන තමයි රෝස කියන්නේ. රතු රෝස ගත්තම ආදරයේ සංකේතය විදිහටත් හඳුන්වනවා. මල් අතරින් ප්‍රධානම මල වන රෝස සෑම ගෙවත්තකම පාහේ දැකගන්නත් පුළුවන්. රෝසවලට ආවේණික සුගන්ධය නිසා බොහෝ දෙනෙක් මේ මලට ඇලුම් කරනවා. විශේෂයෙන්ම රෝස මල් සහ ගහේ හටගන්නා රවුම් ගෙඩියත් ඖෂධ පිණිස යොදා ගන්නවා.
රූපලාවණ්‍ය කටයුතු සඳහා යොදා ගන්නා රෝස මලේ පෙති ඇල් වතුරට දාලා ඒ සඳහා යොදා ගැනීමත් විශේෂයි. නැති නම් රෝස පෙති භාගිත ආසවනය කිරීම මඟින් රෝස වතුර අරගෙන ඒ වතුර රූපලාවණය කටයුතු සඳහා යොදා ගන්නවා. ඒ වතුරෙන් මුහුණ සේදීම තුළින් සමේ ඇතිවන දිලීර, බැක්ටීරියා නැති කර ගන්නත් පුළුවන්. ඒ වගේම සමට සිසිලසක් ලබා දෙනවා. සමේ තිබෙන පී.එච්. එක නියම මට්ටමට
පවත්වන්නත් රෝස පෙති උදවු වෙනවා. රෝස Rosaceae නමැති කුලයට අයත් වන රෝස මලේ උද්භිද විද්‍යාත්මක නාමය Rosa Centifoila නමින් හඳුන්වනවා. රෝස විශේෂ 350ක් පමණ තිබෙනවා. ඒවා අතර බොහෝ විශේෂ ආසියාතික රටවලට ආවේණිකය. සුළු ප්‍රමාණයක් යුරෝපයේත් තිබෙනවා.
යුනානි වෙදකමේ ‘’රුෂිපා’’ කියලා තෙලක් තිබෙනවා. එහි රෝස පෙති අන්තර්ගතයි. නින්ද යන්නෙ නැති අයට මානසික ආතතිය ඇති අයට හිසේ ගල්වන්න මේක හොඳ තෙලක්. අපේ ආයුර්වේද රෝහල්වල මේ තෙල භාවිත කරනවා. රෝස පෙතිවල විටමින් ‘’ඒ, බී, සී, ඩී, ඊ’’ අන්තර්ගතයි.
ඇස්වලට සිසිලක් ලබාදෙන්නත් රෝස පෙතිවලට පුළුවන්. ඔබ කළ යුත්තේ රෝස පෙති ඇල්වතුර වීදුරුවකට දාලා තියලා ඇස් සේදීම පමණයි. රෝස ඔයිල් කියන්නෙ රෝස පෙතිවලින් ගත්ත තෙලක්. වියළි සමට ආලේපනය කරන්න මේ තෙල ඉතාම කදිමයි. ඒ වගේම රෝස පෙති නිස්සාරණය කරලා විවිධ සබන් වර්ග, ශරීර සේදුම්කාරක, සුවඳ විලවුන් නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම රූපලාවණ්‍ය සඳහාමයි රෝස වැඩි වශයෙන් ගන්නේ.
රෝස මලටම ආවේණික සුවඳ නිසා මනස සන්සුන් කරන ගුණයක් එහි පවතිනවා. ඒ සුවඳ වෙනත් දෙයකින් ගන්න බෑ. මනස ශක්තිමත් කරනවා. මනසේ තිබෙන අවිවේකී භාවය නැති කරන්න රෝස ඔයිල්වලින් සෑදූ පහනක් නැති නම් ඉටි පන්දමක් දල්වන්න ඔබට පුළුවන්. එහි සුගන්ධය නිසා මනස ශක්තිමත් කරනවා. ඉතා හොඳින් නින්ද ලබාදීමටත් එය කදිමයි. ඒ වගේම මනස නිරවුල් කිරීමේ ගුණයෙන්ද යුක්තයි.
ඒ වගේම රෝස පෙති ටිකක් ඇල්වතුරට දාලා ටික වේලාවකින් මුහුණ සෝදනවා නම් ඒ රෝස වතුරේ ප්‍රදාහ නාශක ගුණය තිබෙනවා. සමේ පැහැපත්භාවය ඇති වෙනවා. ඒ වගේම මුහුණේ තිබෙන වයසට ගියාම ඇති වන සමේ රැලි වැටීමේ ගතිය මඟහැරෙන්නත් හොඳයි. පුරාණ ඉතිහාසය දිහා බැලුවම රෝස මල්වලට සියවස් ගණනාවක් පැරැණි අතීතයක් තිබෙනවා. එයටම ආවේණික සුවඳ නිසා ප්‍රේමයේ සහ සුන්දරත්වයේ සංකේතය ලෙසත් මේ මල විශේෂයි. විශේෂයෙන්ම රෝමයේ සිටි කාන්තාවෝ රෝස මල් පෙතිවලින් ඇඟ තවාගෙන තිබෙනවා. සුන්දරත්වය පවත්වාගෙන යන්න රෝස පෙති තම්බා කල්කයක් වගේ ඇඟේ ගාලා තිබෙනවා. සමේ රැලි වැටීමේ ස්වභාවය පාලනය කිරීමට.
ක්ලියෝපැට්රා කියන්නේ රූප ස්වභාවය ගැන සැලකිලිමත් වූ අධිරාජිනියක්. ඇයගේ නිදන කාමරයයි, මාලිගාවයි රෝස මලින් පලසක් වගේ අතුරා තිබිලා තියෙනවා ඇය කිරිවලින් ස්නානය කළා වගේම රෝස මල්වලිනුත් ස්නානය කර තිබෙනවා. ඇයගේ ඇඟේ සුළඟ වැදුණම රෝස මල් සුවඳ හැමූ බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. රෝසවලට ඉතා පැරැණි ඉතිහාසයක් තිබෙන බවට තවත් සාධකයක් හමුවී තිබෙනවා. වසර මිලියන 35ක් පැරැණි රෝස පොසිලයක් හමුවීම එයට කදිම නිදසුනක්.
රෝස වතුර, රෝස තෙල් වගේම රෝස තේ පානයත් ගැනත් මෙහි සඳහන් කිරීම වැදගත්. වේළිච්ච රෝස පෙති හතරක් පහක් පමණ අරගෙන ඒක නටන උණුවතුර කෝප්ප තුන්කාලකට විතර දාලා මිනිත්තු 10ක් විතර වසා තියලා පෙරා පානයට ගන්න. නැති නම් රෝස අර්ත හදා ගන්න පුළුවන්. යන්ත්‍රවලට දාලා රෝස පෙතිවලින් හදා ගත්ත නිස්සාරණයක් ඒක. එයින් තේ හැඳි දෙක ගාණේ දවසට දෙපාරක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මේ ඖෂධයේ සම පැහැපත් කරවන, ඇඟ සිසිල් කරවන, වයසට යෑම පමා කරවන ගුණ තිබෙනවා.
රෝස තේ එකක් බිව්වම මනස සන්සුන් වෙනවා. ඉතා හොඳ නින්දක් ලබා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී රෝස පෙති පුරාතනයේ පවා භාවිත කර තිබෙනවා. සමස්තයක් ලෙස ගත්තොත් රූප සොබාව වඩා වර්ධනය කර ගන්න රෝස ඉතාම කදිම ඖෂධයක්.
සමිත් මධුරංග
උපුටා ගැනීම මව්බිම
Countdown Timer
60 seconds remaining
Comments
Post a Comment